සිනමාකරුවෝ යාපනය චිත්‍රපට උළෙල වර්ජනය කරති.
ජූඩ් රත්නම්ගේ Demon's In Paradise චිත්‍රපටය යාපනය චිත්‍රපට උළෙලේ ප්‍රදර්ශනය අත්හිටුවීමට ප්‍රතිචාර දක්වමින් මාලක දේවප්‍රිය සහ චින්තන ධර්මදාස තම චිත්‍රපට යාපනය චිත්‍රපට උළෙලින් ඉවත්කර ගන්නා බව ප්‍රකාශ කරයි. මෙයින් මාලකගේ "බහුචිතවදියා" චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත්කර ගැනීමට මාලක කටයුතු කල බවත් චින්තනගේ "ඇවිලෙනසුලුයි" චිත්‍රපටය නිෂ්පාදකගේ උවමනාව මත ප්‍රදර්ශනය කලද තමා චිත්‍රපට උළෙල වර්ජනය කරනබවත් ප්‍රේක්ෂකයන්ටත් එසේ කරනමෙන් ඉල්ලා සිටියි.
ජූඩ්ට පෙන්නන්න බෑ
මට ගලවන්න බෑ
------------------------------------------------------------------------
ඇවිලෙනසුලුයි චිත‍්‍රපටියත් යාපනේ සිනමා උළෙලේ තිරගත වීමට නියමිතයි. මං හිටියෙ ඒ ගැන මාර සතුටෙන්. උතුරෙ උන් කොහොමද දකුනෙ මෙහෙම වැඩක් බාරගන්නෙ කියල දකින්න. දකුනෙ උන් එක්ක උතුරට ගිහිල්ලා ෆිල්ම් එකක් බලලා එන්න. මං ඒකට සෑහෙන්න ලෑස්ති වුනා. ඒත් එකපාරටම ජූඩ් රත්නම්ගෙ ෆිල්ම් එක ෆෙස්ටිවල් එකෙන් එලියට විසිවුනා. ඒක පෙන්නනවට විරුද්ද පාර්ශ්වයක තර්ජන ගැන කියවුනා. එතකොට ෆෙස්ටිවල් එකකවත් තමන්ට වෙනස් මතවාදයක චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය කරන එක දරාගන්න උතුර තාමත් පෝසත් නැද්ද? විරුද්ද මතයට මුහුන දිය යුතු සාධාරන ක‍්‍රමය විදිහට ඔවුන් විශ්වාස කරන්නෙ තහනමද? මේ ගැන සම්මාන උළෙලේ සංවිධායකයන් සාධනීය මැදිහත් වීමක් කරයි කියල මං බලාගෙන හිටියා.
ඒත් සංවිධායකයන් අතින් අවම තරමින් නිර්මාණකරුවාගෙන් සමාව ඉල්ලීමක්වත් සිද්ද වුනේ නෑ. සිනමාවේ වාරණය අනුමත නොකරන පෙනී සිටීමක් හෝ සිද්ද වුනේ නෑ. ඒ වෙනුවට විවිද අය විසින් ඒ වාරණය සාධාරණීකරණය කරන විවිධ කාරණා ඉස්මතු කරන්න පටන් ගත්තා. දකුනෙ අපි කිසිම විදිහකින් වාරණයට සාධාරණ කාරණා තියෙනවා කියල පිළිගන්නෙ නෑ. විරෝදය හැමතිස්සෙම සංවාදයක් වෙන්න ඔ්න. දකුනෙදි අපි පෙනී ඉන්නෙ එහෙම. ජුඩ්ගේ චිත‍්‍රපටයේ ඉදිරිපත්වෙන මතවාදයට මං එකහෙලාම විරුද්දයි. දෙමළ ජනතාව ඒක ප‍්‍රශ්න කරන්න ඔ්න. ඒකට විරුද්ද වෙන්න ඔ්න. ඒ වගේම ජූඩ්ට ඒක කියන්න ඉඩක් තියෙන්න ඔ්න.
ජූඩ්ගේ හෝ වෙන කාගේ හෝ ප‍්‍රකාශන නිදහසක් අහිමි වුනු උළෙලක මට මගේ චිත‍්‍රපටයක් ප‍්‍රදර්ශනය කරන්න බෑ. ඒකෙන් මට නිර්මාණකරුවෙක් විදිහට දැනෙන්නෙ ආස්වාදයක් වෙනුවට ලැජ්ජාවක්. මගේ චිත‍්‍රපටිය ඇතුලෙ මං සිංහල බෞද්ද සමාජයට හිනාවෙනවා. මට ඔ්න නෑ තමන්ගේ මතයට විරුද්ද තමන්ගෙම සහෝදරයෙකුගේ මතයක් ඉවසන්න බැරි ප‍්‍රජාවකට ඒක පෙන්නන්න. ඒ හින්ද මගේ චිත‍්‍රපටය උළෙලෙන් ඉවත් කරන්න කියල මං නිෂ්පාදකවරයාට දැන්නුවා. ඒත් නිෂ්පාදකවරයා ඒකට එකග වුනේ නෑ. එයා සිනමා උළෙලට චිත‍්‍රපටය ඉදිරිපත් කරන්න ඔ්න කියන තීරණයේ දැඩිව හිටියා. ඒ චිත‍්‍රපටියෙ නිර්මාණය මගෙ වුනත් නිෂ්පාදනය එයාගෙ.
ජූඩ්ට එයාගෙ චිත‍්‍රපටය තිරයට ගේන්න අවසර නෑ වගේම මටත් මගේ චිත‍්‍රපටිය තිරෙන් ගලවන්න අවසර නෑ. ජූඩ් වගේම මාත් වාරණය වෙලා.
මට විලිලැජ්ජාවක් ගෙන දෙමින් ඇවිලෙනසුලුයි 06 වෙනිදා 04ට පෙන්නනවා. මං ඒකට සහභාගි වෙන්නෙත් නෑ, ඒ වෙනුවෙන් පෙනී ඉන්නෙත් නෑ. පුළුවන් හැම කෙනෙකුගෙන්මත් ඉල්ලන්නෙ මේ උළෙලේදී මගේ චිත‍්‍රපටිය බලන්න එපා කියල. අපි ඒක වෙන නිදහස් තැනකදි බලමු. චිත‍්‍රපටියක් සිනමාවක් වෙන්නෙ ඒ නිදහසත් එක්ක. ලංකාවට ඉතාම අවශ්‍ය සිනමා උළෙලක් දැඩි කැපවීමක් සහ ශ‍්‍රමයක් මැදින් මේ තරම් දුරක් ඇවිත් කලාවෙ මූලික කොන්දේසි වෙනුවෙන් පෙනී නොසිටිමින් දියාරු වී යාම ගැන තියෙන්නෙ දැඩි කණගාටුවක්.
-Chinthana Dharmadasa-
''යාපනය චිත්‍රපට උළෙලින් බහුචිතවාදියාගේ නික්මයාම”
මාගේ චිත්‍රපටය ඉවත්කරගැනීම පිළිබද ප්‍රකාශය
ආගම්වාදී, ජාතිකවාදී හා වර්ගවාදී සමූහයක් විසින් පසුගිය සති කිහිපය තුළ මවිසින් නිර්මාණය කරනලද රේඩියෝ නාට්‍යය කිහිපයක නම් පමණක් අල්ලා ගනිමින් කලාව සම්බන්ධව දැඩි වාරණ කතිකාවක් ගොඩනංවාලීය. මෙම මර්ධනකාරී ප්‍රතිවිරෝධයන් තවමත් නොනැවතී පවතින අතර එවන් පාර්ශව හතරක් ගොනුකළ පැමිණිලි හතරක් ඔස්සේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මේවනවිට විමර්ශනය කරමින් පවතී. නිර්මාණකරණය සංවිධානාත්මක අපරාධයක් ලෙස නම් කරමින් මා වෙත මර්ධන යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන මොහොතක කලා වාරණය සම්බන්ධව දෙබිඩි පිළිවෙතක් අනුගමනය කළ නොහැකිය.
නිර්මාණකරුවකු වශයෙන් වක්‍ර හෝ සෘජු යන සකලවිධ කලා වාරණයන්ට හා මර්ධනයන්ට මම කොන්දේසි විරහිතව විරුද්ධ වෙමි. නිර්මාණ කරුවෙකුට ස්වාධීනව ඕනෑම දේශපාලන ස්ථාවරයක සිට නිර්මාණ කිරීමේ අයිතිය මා විසින් පිළිගන්නා අතර යමෙකුට එය විවේචනය, විචාරය, විශ්ලේෂණය හෝ අර්ථගැන්වීම් කළ හැක. නිර්මාණකරුවන්ගේ ප්‍රකාශනයන් ඒක පාර්ශවිය හෝ දිවිපර්ශවිය හෝ බහුපර්ශවිය විය හැක. එය නිර්මාණකරුවාගේ ස්වාධීනතාව හා භාවිතාව මත සිදුවේ. ප්‍රසන්න, හඳගම, විමුක්ති , සුදත් මහදිවුල්වැව, සංජීව වැනි සිනමාකරුවන්ට පටු මතවාදීන් ගෙන ආ චෝදනාව වුයේද හමුදාව, ජාතිය, ආගම හා රාජ්‍ය පිළිබදව ඒකපර්ශවිය අදහස් පිළිබිබු කරන ප්‍රවාදයයි. නමුදු ඔවුන්ගේ කෘති වාරණය කල නොහැකිය. මහජනයාට ප්‍රදර්ශනය කිරීමෙන් ඉක්බිතිව විචාරයන් ගොඩනැංවිය හැක. ජූඩ් රත්නම්ගේ චිත්‍රපටය සම්බන්දයෙන්ද තත්වය එසේමය. එය ප්‍රදර්ශනය කර විචාරයට ලක්කළ හැක. ජූඩ් රත්නම්ගේ චිත්‍රපටයේ දෘෂ්ටිවාදය සම්බන්ධව මට එකගත්වයක් නැතත් එය ප්‍රදර්ශන අවකාශය දිනා දීම වෙනුවෙන් පෙනී සිටිමි.
ඕනෑම ව්‍යාපෘතියකට දේශපාලන න්‍යායපත්රයක් තිබිය හැක. යාපනය චිත්‍රපට උළෙලට ජූඩ්ගේ චිත්‍රපටය ප්‍රදර්ශනය නොකිරීමට අවශ්‍යව තිබුනේනම් කළයුතුව තිබුනේ එය උළෙලට තෝරනොගැනීමයි. චිත්‍රපටය නිලවශයෙන් තෝරාගෙන ප්‍රසිද්ධ මාධයයන් හරහා ප්‍රචාරය කිරීමෙන් ඉක්බිතිව ප්‍රදර්ශනය අත්හිටුවීම වාරණයකි. එම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් දක්වන නිල ප්‍රතිචාරයන්ද තාර්කික නොමැත. මේ තත්වයන් සැලකිල්ලට ගනිමින් මගේ බහුචිතවාදියා චිත්‍රපටය උළෙලින් ප්‍රදර්ශනය ඉල්ලා අස්කර ගනිමි. එහි මුලික අදහස වන්නේ වාරණය සම්බන්ධ දෙබිඩි පිළිවෙතක මට කටයුතුකළ නොහැකි වීමයි. අරාජිකවාදී රාජ්‍ය හා සමාජ යාන්ත්‍රණයක් තුළ සිනමා උළෙලක් අඛණ්ඩව පවත්වා ගැනීම අසීරු කටයුත්තක් බව සත්‍යයකි.අඛණ්ඩව සිනමා උළෙලක් පැවැත්වීම සම්බන්ධව මගේ ගෞරවය හිමිවේ. මගේ විරෝධය සෘජුව ඉලක්ක වන්නේ මහජනතාව හෝ දෙමළ දේශපාලනය මත ඉදිර්පත්කරන නියෝජනයන්ට හෝ නොව චිත්‍රපටය ප්‍රදර්ශනයෙන් ඉවත්කළ සංවිධායක මන්ඩලයටයි.
මාලක දේවප්‍රිය
No comments:
Post a Comment